LTTE බංකරයක් විනාශ කරන්නැයි ආරක්ෂක අංශවලට ඉල්ලීමක් - Neth News Blog

Jul 24, 2018

LTTE බංකරයක් විනාශ කරන්නැයි ආරක්ෂක අංශවලට ඉල්ලීමක්

යාපනයේ  මනිපායි පට්ටන්තිල් ගම්මානයේ සෙල්ලමුත්තු ක්‍රීඩාංගනය අසල එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඉදි කරණ ලද බංකරයක් විනාශ කොට දෙන මෙන් වලිකාමම් දකුණ ප්‍රදේශීය සභාව යාපනයේ ආරක්ෂක අංශ වලින් ඉල්ලීමක් කොට තිබේ.

වලිකාමම් දකුණ ප්‍රදේශීය සභාව කියා සිටින්නේ එල්.ටී.ටී.ඊ.සංවිධානය
විසින් ඉදි කරණ ලද එම බංකරය ඔවුන් යුද සමයේදී මුල් කාලයේම අතහැර ගිය නමුත් ආරක්ෂක අංශ එය ඉවත් කිරීමට පියවර නොගත් බවයි.

මේ වන විට එම බංකරය හා ඒ අවට මුළු ප්‍රදේශයම වල් බිහි වී ඇති නිසා ඊට යම් අයෙකු වැටීමෙන් අනතුරක් සිදුවිය හැකි බව කියන ප්‍රාදේශීය සභා නිලධාරීන් වර්ෂා කාලයට මේ බංකරයට ජලය එකතු වීමෙන් මදුරුවන් බෝවන බවද කියා සිටියි.

බංකරය තුළ කුමන දේවල් ඇත්දැයි යන්න නොදන්නා බැවින් ප්‍රාදේශීය සභාව බැකෝ යන්ත්‍රයක් යොදා එම බංකරය ඉවත් කිරීමට යාම අනතුරුදායක ක්‍රියාවක් විය හැකි නිසා එය ඉවත් කොට දෙන මෙන් යාපනයේ ආරක්ෂක අංශ වලින් ඉල්ලීමක් කොට තිබේ.

(දිනසේන රතුගමගේ)