අමාත්‍ය ධුරයෙන් ඉවත්වූ සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට පත් කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකු ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියකු සමග සාකච්ජා පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ නායකයා වන දිනේෂ් ගුණවර්ධන මහතාට වඩා
ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයකු වන සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පත්කර ගැනීමෙන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ආකර්ෂණය කර ගැනීමට ඇති හැකියාව 16 කණ්ඩායමේ පිරිස මෙහිදී පෙන්වා දී ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
තම කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමත් සමග විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ද ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.
ජාතික ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත්වීමට තීරණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ '16 කණ්ඩායමේ' සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් එම විශේෂ මාධ්‍ය හමුව පැවතියේ ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීය.
ඒ සඳහා දයාසිරි ජයසේකර, එස් බී දිසානායක, චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල, අනුරාධ ජයරත්න හා තාරානාත් බස්නායක යන මන්ත්‍රීවරුන් සහභාගී වී සිටියේය.
''ශ්‍රීලනිපය ඉක්මනින්ම ජාතික ආණ්ඩුවෙන් ඉවත්වෙනවා'' - එස්. බී. දිසානායක
මෙම මාධ්‍ය හමුවේ දී ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට බලපෑ හේතු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා දීර්ග පැහැදිලි කිරීමක් කළේය.
ශ්‍රීලනිපය ඉතා ඉක්මනින් ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට අදාළ සාකච්ඡාද සිදු කිරීමට නියමිත බව ඔහු එහිදී සඳහන් කළේය.
මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේද පැවසිය.
"අපි ජනාධිපතිතුමාට දැනුම් දුන්නා මධ්‍යම කාරක සභාව ඉක්මනින් කැඳවලා දෙන්න කියලා. මොකද අපි යෝජනාවක් ගෙනාවා ජාතික ආණ්ඩුවෙන් අපි ඉවත් විය යුතුයි කියලා..ඒක පිළිබඳ දීර්ඝ සංවාදයක් ගියා..පස්සේ ඒක අතරමග නතර කරලා වෙනත් දිනයකට කල් දැම්මා. ඉතින් ඒ යෝජනාව පිළිබඳ ඉතා ඉක්මනින් තීරණයක් ගන්න අවශ්‍යයි.
පිරිසක් විරුද්ධ වෙන්න පුළුවන් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙන්න. නමුත් පක්ෂයක මධ්‍යම කාරක සභාව යම් තීරණයක් ගත්තොත් ඒ අය පක්ෂයේ ඉන්නවා නම් ඒ කාටත් ආණ්ඩුවේ ඉන්න බෑ.
මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදෙන්නේ නෑ.. එක්කෙනෙක් දෙන්නෙක් එක්සත් ජාතික පක්ෂයට එකතු වෙයි. සන්ධාන ලේකම්තුමා හෝ නිදහස් පක්ෂ ලේකම්තුමා සමග මේ ගැන සාකච්ඡා කරන්න අවශ්‍ය නෑ..ඒ අය පොඩි ළමයි..අපි ඊට වඩා ජ්‍යෙෂ්ඨයෝ. අපි කතා කරන්න ඕන කෙනා එක්ක කතා කළා."
සන්ධානයේ 96 න් 70 ක් එළියේ !
පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 96 දෙනාගෙන් 70 දෙනෙකුම මේවනවිට විපක්ෂයට එක්ව තිබේ.
සන්ධානයේ මන්ත්‍රීවරුන් 54 දෙනෙකු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට පක්ෂවූ ශ්‍රීලනිප 16 කණ්ඩායමද පෙරේදා (11) මධ්‍යම රාත්‍රී ආණ්ඩුවේ තනතුරු වලින් ඉවත්විය.
ඒ අනුව පාර්ලිමේන්තුවේ සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් සාතිශය බහුතරය විපක්‍ෂය නියෝජනය කරයි.
කෙසේවුවද බීබීසී සිංහල සේවයට ප්‍රකාශයක් කරමින් 16 කණ්ඩායමේ සාමාජික හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුයේ, සිය කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කණ්ඩායමක් ලෙස අසුන් ගත්තද ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට එක් නොවන බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධාන ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු ලෙස තවදුරටත් රැඳී සිටින්නේද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කෙරෙනු ඇති බව ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසිය.
Apr 12, 2018
විපක්ෂ නායක ධුරය සුසිල්ට දෙන්නැයි ඉල්ලීමක් !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
