ආණ්ඩුවේ පස් අවුරුදු සංවර්ධනය අර්ජුන් යටතට - Neth News Blog

Jul 20, 2016

ආණ්ඩුවේ පස් අවුරුදු සංවර්ධනය අර්ජුන් යටතට

රැකියා දස ලක්ෂයේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා වන ආණ්ඩුවේ පස් අවුරුදු සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධානියා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතා පත් කිරීමට රජය තීරණය කර තිබේ.

වසර පහක් තුළ දී තරුණ තරුණියන්ට රැකියා දස ලක්ෂයක් බිහි කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයට පෙර ප්‍රතිඥා දී තිබිණි. මෙය යථාර්තයක් බවට පත් කිරීමේ පස් අවුරුදු සැලැස්මට රජයේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සියල්ලම ඇතුළත් වී ඇත.
ආර්ථික විශේෂඥයකු ලෙස අන්තර්ජාතික නමක් දිනා ගෙන සිටින අර්ජුන් මහේන්ද්‍ර මහතා ප්‍රධානත්වය ගන්නා පස් අවුරුදු සැලැස්මට මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධානීන් කිහිප දෙනකු සහාය ලබා දීමට ඉදිරිපත් වී තිබේ.

ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යෝජිත ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA), ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කිරීමට යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම, චීනය සමඟ අත්සන් කිරීමට යෝජිත ආර්ථික ගිවිසුම ආදී ඉදිරි වසර හතර තුළ මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රගතියට අදාළ ජාත්‍යන්තර එකඟතාවලට එළැඹීම ද අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුතු පස් අවුරුදු සැලසුම් ව්‍යාපෘතිය මඟින් කිරීමට නියමිතය.

අගමැති වික්‍රමසිංහ මහතා සමඟ සිංගප්පුරුවේ නිල සංචාරයට එක් වී සිටි මහේන්ද්‍රන් මහතා ඊයේ (19) රාති‍්‍රයේ යළි දිවයිනට පැමිණි අතර, හෙට (21) අරලිය ගහ මන්දිරයේදි පස් අවුරුදු සැලැස්ම සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමඟ විශේෂ සාකාච්ජාවක් පැවැත්විමට ද නියමිතය.