මහින්ද අයවැයට පිටින් ගත් ණය රනිල්ට හිසරදයක් වෙලා - Neth News Blog

Mar 12, 2016

මහින්ද අයවැයට පිටින් ගත් ණය රනිල්ට හිසරදයක් වෙලා

මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේදී රාජ්‍ය ආයතනවලට විදේශීය ආයතනවලින් ණය ලබාගැනීමට‍ ඉඩ දී ඇති බවත්, එසේ ලබාගත් ණය අය - වැය ලේඛනයේ දක්වා නැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා කියයි.

මේ නිසා රජය ගෙවන්නට තිබෙන ණය පිළිබඳ ලේඛන‍යට ඇතුළත් වී නැති ණය මුදල් තිබෙන බවත් ඒවායේ වටිනාකම කොපමණ දැයි වහාම සොයා බැලීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ වගකීමක් බවත් විජේවර්ධන මහතා සඳහන් කරයි.
“පසුගිය රජය හය වසරක කාල පරිච්ඡේදයේ ලබාගත් මේ ණය මහා භාණ්ඩාගාරයේ අයවැයට පිටින් සඳහන් වී නැහැ. අය වැය ලේඛනයේ සඳහන් නොකොට විවිධ වියදම් කිරීම ද කර තිබෙනවා.

“මේ මුදල් ගෙවන්නට තිබෙන බව වාර්තා වන්නේ විවිධ පාර්ශ්වයන් ණය වාරික හා පොලී ඉල්ලා සිටි විටයි. මේ නිසා මහ බැංකුව දක්වා ඇති දත්ත හා සං‍ඛ්‍යාලේඛන පවා නිවැරැදි නැහැ. මේ නිවැරැදි දත්ත සොයා වහාම පරීක්ෂණ කළ යුතුයි.

“ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලියේ නිරත ස්ටෑන්ටඩ් පුවර් ආයතනය මේ නිසා, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත අගයකට දක්වා තිබෙනවා.

රජය ඉදිරි මාස 12 ක කාලය තුළ අදාළ නිවැරැදි කිරීම් සිදු කරගන්න ඕනෑ. එසේ නොවුණහොත් මේ අගය තවත් ටිකක් පහළට දමන්නට ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන කටයුතු කරන්නට ඉඩ තිබෙනවා” යැයි විජේවර්ධන මහතා පෙන්වා දෙයි.