ජවිපෙ ගෙනා 20ට මහින්ද පිළෙන් යෝජනා - Neth News Blog

Jul 29, 2018

ජවිපෙ ගෙනා 20ට මහින්ද පිළෙන් යෝජනා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන විසිවන සංශෝධන යෝජනාවේ දැනට ගැසට් මගින් ප්‍රකාශයට පත් වී ඇති කෙටුම්පතට සංශෝධන කිහිපයක් සිදු කරන්නේ නම් එයට සහයෝගය පළ කරන්නට සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද හිතවාදී කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පවසා ඇත.

මහින්ද රාජපක්ෂ මහතාට සමීප පැරණි වාමාංශික නායකයෙකු ජවිපෙ
වෙත ඉදිරිපත් කර ඇති ප්‍රධාන යෝජනාවක් වන්නේ විසිවැනි සංශෝධන යෝජනාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වී ජනමත විචාරණයකින් ජයගත් පසුව ආණ්ඩුව විසිර ගොස් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටවිය යුතු බවයි.

එම අන්තර්වාර ආණ්ඩුව හරහා මහමැතිවරණයක් පවත්වා නව අගමැතිවරයෙකු සහ ආණ්ඩුවක් පත්විය යුතු බවද යෝජනා කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය දරන වත්මන් ආණ්ඩුව යටතේ මහමැතිවරණයකට යෑම තම පක්ෂයට අවාසි සහගත බව ඔවුන්ගේ අදහස වී ඇත.

 ගෝඨාගේ පිළ එරෙහිවේ !

ඒකාබද්ධ විපක්ෂයේ 'ජාතිකවාදී' කණ්ඩායම සහ ගෝඨාභය හිතවාදී කණ්ඩායම පමණක් විසිවෙනි සංශෝධනයට විරෝධය පළ කර ඇත.

මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ ගෝඨාභය රාජපක්ෂ හිතවාදී කණ්ඩායම සහ මහින්ද රාජපක්ෂ හිතවාදී කණ්ඩායම ලෙස කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වන අතර මහින්ද හිතවාදී කණ්ඩායමේ සැලැස්ම වී ඇත්තේ විසිවෙනි සංශෝධනය යෝජනාව හරහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයකදී අගමැති ධූර අපේක්ෂකයා ලෙස නම් කිරීමටයි.

ඊට අමතරව මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ තවත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු ජවිපෙ වෙත යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තුව හරහා තෝරාපත් කර ගන්නා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින්ම පත්කර ගත යුතු බවට විසිවෙනි සංශෝධන කෙටුම්පත වෙනස් කළ යුතු බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ 'ජාතිකවාදී' කණ්ඩායම සහ ගෝඨාභය හිතවාදී කණ්ඩායම පමණක් විසිවෙනි සංශෝධනයට විරෝධය පළ කළ බවත් මහින්ද හිතවාදී කණ්ඩායම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව කැමැත්තෙන් සිටින බවත් වැඩිදුර අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතාට සමීප ශ්‍රීලනිප සමාජිකයා අප සමග කීය.

(අනිද්දා)