රන්ජන්ට එරෙහි චෝදනා ගොනුව ශ්‍රේෂ්ඨාධිකරණයට - Neth News Blog

Jul 30, 2018

රන්ජන්ට එරෙහි චෝදනා ගොනුව ශ්‍රේෂ්ඨාධිකරණයට

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගොනු කෙරෙන චෝදනා ආඥා කෙටුම්පත අද(30) නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දුන්නේය.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්
සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ගොනු කර ඇති පැමිණිලි අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, විජිත් මලල්ගොඩ සහ එල් .ටී. බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එම පැමිණිල්ලේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නයි දන්වන චෝදනා කෙටුම්පත් ආඥාව අධිකරණය හමුවේ ගොනුකර ලැබීය.

එහි පිටපතක් අධිකරණය විසින් වගඋත්තරකාර රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට ද ලබා දී තිබේ.

එම චෝදනා කෙටුම්පත භාරගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවරයා, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගය අගෝස්තු මස 8 වන දා දැනුම් දෙන බව නියම කළේය.

රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති එම පැමිණිලිවලින් සඳහන් කර තිබෙන්නේ ඉකුත් වසරේ අගෝස්තු මාස 21 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා රත්නපුර නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයන් බවට ප්‍රකාශයක් කර ඇති බවයි.

මේ තුළින් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරට අධිකරණ පද්ධතියට බරපතළ අපහාසයක් සිදු කර ඇති බව මේ පිළිබඳ විභාගයක් පවත්වා ඔහුට එරෙහිව සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පැමිණිලිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම ප්‍රකාශයට අදාළ වීඩියෝ පට නිරීක්ෂණය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් බැලූබැල්මටම අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවට තීන්දු කිරීම නිසා රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව චෝදනා කෙටුම්පත් ආඥාවක් ඉදිරිපත් කරන මෙන් නීතිපතිවරයාට නියම කර තිබුණි.

ඒ අනුවයි නීතිපතිවරයා විසින් මෙම කෙටුම්පත ඉදිරිපත් කර ඇත.