"එල්ලා මැරීමට ජනපතිට හිමි බලය කමිටුවට පවරන්න බෑ" - සරත් සිල්වා - Neth News Blog

Jul 25, 2018

"එල්ලා මැරීමට ජනපතිට හිමි බලය කමිටුවට පවරන්න බෑ" - සරත් සිල්වා

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ සිරකරුවන් නම් කිරීම හා දින තීරණය කිරීම කමිටුවකට කළ නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය නායකයා සතු බලය කමිටුවක් වෙත පැවැරීමට නොහැකි බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා 'මව්බිම' පුවත්පතට ප්‍රකාශ කර ඇත.

මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයකු එල්ලා මරණ දිනය තීරණය
කිරීමේ බලය හෝ සමාව ලබාදීමේ බලය තිබෙන්නේ රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිට පමණක් බවත්, ඒ අනුව එල්ලා මැරීමේ දිනය තීරණය කිරීමේ බලය ජනාධිපතිවරයා විසින් කමිටුවක් වෙත පැවැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවත් හිටපු අගවිනිසුරකු වන සරත් එන්. සිල්වා මහතා පෙන්වා දෙයි.

යම් යම් පත්කිරීම්, සිදුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මඟින් කොමිෂන් සභා සහ කමිටු වෙත පැවැරීමට ජනාධිපතිවරයට බලයක් තිබුණද මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේ කාටද? ඒ කවර දිනයකද කියා තීරණය කිරීම කමිටුවක් වෙත පැවැරීම සඳහා කිසිදු නීතිමය අවසරයක් නොමැති බවද සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තු අනුමැතියක් අවශ්‍යයි :

එවැනි කමිටුවකට පැවැරීමේ බලය ලබාදීම සඳහා පාර්ලිමේන්තු අනුමැතියක් අවශ්‍ය බවද ඔහු කියා සිටී. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වර්තමානයේදී මෙම කමිටුව පත් කර තිබෙන්නේ කුමන අරමුණකින්ද එම කමිටුවේ සිටින පුද්ගලයන් කවුරුන්ද එම කමිටු සාමාජිකයන්ට අදාළ නඩු හා වැරැදිකරුවන් සම්බන්ධයෙන් තිබෙන අවබෝධය කුමක්ද? යන කරුණු ගැන සමාජය දැනුවත් වී නොතිබීමද බරපතළ ගැටලුවක් බව සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.

මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයකු විසින් සිරගෙදර සිට සිදුකරන ලබන පසු හැසිරීම් පමණක් පදනම් කරගෙන එල්ලා මැරීමට තීරණය කරනවා නම් එය සාධාරණ නොවන බවත් වැරැදිකරුවකු එල්ලා මැරීමට තීරණය කරනවා නම් ඒ සඳහා තීන්දුව දෙනු ලබන විනිසුරුවරයාගේ, නීතිපතිවරයාගේ සහ අධිකරණ අමාත්‍යවරයාගේ රහස්‍ය වාර්තා 3ක් ලබාගැනීම මේ රටේ තිබුණු සම්ප්‍රදාය බවත් නීති විරෝධී කමිටු පත් නොකර එම සම්ප්‍රදාය ගැන අවධානය යොමු කිරීම මේ අවස්ථාවේදී ඉතා වැදගත් වන බවත් හිටපු අගවිනිසුරු ප්‍රකාශ කරයි.

චන්ද්‍රිකාට ලබාදුන් වාර්තාව :

මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයකුගේ පසු හැසිරීම පමණක් ගැන අවධානය යොමු කරනවාට වඩා එම පුද්ගලයා සම්බන්ධයෙන් තීන්දුව ලබාදුන් විනිසුරු, නීතිපති හා අධිකරණ අමාත්‍යවරයාගේ රහස් වාර්තා සැලකිල්ලට ගෙන එල්ලා මැරීම තීරණය කිරීම වඩාත් සාධාරණ බවද හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.

තමා නීතිපති ලෙස කටයුතු කළ අවස්ථාවේදී තමා සභාපති ධුරය දැරූ කමිටුවක් මඟින් එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට වාර්තාවක් ලබාදුන් බවත් මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයකු සම්බන්ධයෙන් තීන්දුව ලබාදුන් විනිසුරු, නීතිපති හා අධිකරණ ඇමැතිගේ රහස් වාර්තා තුනෙන්ම එල්ලා මැරීමට යෝජනා කරනවා නම් එල්ලා මැරීමටත් එම වාර්තා තුනෙන් එක් වාර්තාවක් හෝ එල්ලා මරණවාට විරුද්ධ නම් එම වැරැදිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ක්‍රියාත්මක කරන ලෙසට යෝජනා කළ බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.