ගෝඨාට බෝම්බෙ තැබුවා යැයි සැක කළ අයියර් නිදහස් - Neth News Blog

Jul 26, 2018

ගෝඨාට බෝම්බෙ තැබුවා යැයි සැක කළ අයියර් නිදහස්

2006 වසරේ කොල්ලුපිටිය ,පිත්තල හන්දිය ප්‍රදේශයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා ලබා සිටී අයියර් ශ්‍රී ස්කන්ධරාජා හෙවත් ෂර්මා නැමැති හින්දු පූජකවරයෙකු නිදොස් කොට නිදහස් කිරීමට
කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා නියම කළේය.

මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකාර පූජකවරයා විසින් පොලීසියට ලබාදී ඇති පාපොච්චාරණය ස්වේච්ඡාවෙන් ලබාදී නොමැති බව අනාවරණය වී ඇතැයි විනිසුරුවරයා සඳහන් කර සිටියේය.

එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේය පාපොච්චාරණයට අමතරව වෙනත් සාක්ෂි කිසිවක් විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කිරීමට නොහැකි බවයි.

විත්තිකරු විසින් සිදු කළ පාපොච්චාරණය ස්වේච්ඡාවෙන් සිදු කළ එකක් නොවන බවට අධිකරණය විසින් දැනටමත් තීන්දු කර ඇති නිසා ඔහුට එරෙහිව වෙනත් සාක්ෂි ද නොමැති හෙයින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් විත්තිකාර පූජකවරයා වසර 13කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි බවද නඩු විභාගයේදී අනාවරණය විය.