MKADS ගෙන් හිස්වූ මන්ත්‍රී අසුන සොයිසාට - Neth News Blog

Jan 25, 2016

MKADS ගෙන් හිස්වූ මන්ත්‍රී අසුන සොයිසාට

ඉඩම් ඇමැති එම්.කේ.ඒ.ඩී.එස්‌. ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ' මහ ලේකම් අරුණ සොයිසා මහතා පත් කරන ලෙස යෝජනාවක් ඉදිරිපත්ව ඇත.

මෙම තීරණය අද (25 දා) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එම පක්‍ෂයේ නායකයන්ට දැනුම් දෙන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ නියෝජ්‍ය නායක ශ්‍රීලාල් රෝහණ මහතා පැවැසීය.
පසුගිය මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව මෙම පත්වීම කරන බව හෙතෙම සඳහන් කළේය.

පසුගිය ආණ්‌ඩුව පෙරළා දැමීම සඳහා එජාපයේ ප්‍රධානත්වයෙන් ගොඩනැඟුණු ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කළ එවකට රුහුණු ජනතා පක්‍ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කරමින් සිටි අරුණ සොයිසා මහතා, යහපාලනය ඇති කිරීම සඳහා කැපවී ක්‍රියා කළ නායකයකු බවද ලාල් රෝහණ මහතා පැවසිය.

චතුර සේනාරත්න

මේ අතර 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ, හිටපු ඇමැති එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවයෙන් හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය තම පක්ෂයට හිමිවිය යුතු බවයි.

ස්විට්සර්ලන්තයේ ජගත් ආර්ථික සමුළුවට සහභාගී වී සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද දිවයිනට පැමිණි පසුව මේ පිළිබඳව අගමැතිවරයා සමඟ සාකච්ඡා කරන බවද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පසුගිය අගෝස්තු මහ ඡන්දයට පෙර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව තම පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක ගුණවර්ධන මහතාටත්, ජයම්පති වික්‍රමරත්න මහතාටත් දුන් බව කී සේනාරත්න මහතා, ඒ අනුව ගුණවර්ධන මහතාගේ අභාවය නිසා ඇතිවු පුරප්පාඩුවට තම පක්ෂයෙන් මන්ත්‍රීවරයකු පත් කර ගත යුතුව ඇති බව අවධාරණය කළේය.

රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, චතුර සේනාරත්න, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන් පසුගිය මහ මැතිවරණයට එජාපයෙන් ඉදිරිපත් වුයේ 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය' හරහාය.

ජනාධිපති අපේක්ෂකයෙක්

පුරප්පාඩු මන්ත්‍රී අසුන සඳහා එම පක්ෂයෙන් යෝජනා කර ඇති අරුණ සොයිසා මහතා, බොහෝ කලක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කල අයෙකි. එම ක්‍රියාකාරිත්වය නිසා අත්අඩංගුවට පත්වූ මොහු වසර 05කට වැඩි කාලයක් බුස්ස හමුදා කඳවුරේ රඳවා සිටියේය.

1994 වසරේදී පැවති මහ මැතිවරණයේදී මොහු ජනතා විමුක්ති පෙරමුණේ දිස්ත්‍රීක් නායකයා ලෙස ගාල්ල දිස්ත්‍රීක්කයට ඉදිරිපත් වුයේ ය.

අනතුරුව, ජාතික ප්‍රශ්නය මත ඇතිවූ ජවිපෙ අභ්‍යන්තර මත ගැටුමේදී බලය බෙදා හැරීම වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායමක් සමග පක්ෂයෙන් ඉවත්වූ  අරුණ සොයිසා මහතා, 2000 වසරේදී රුහුණු ජනතා පක්‍ෂය පිහිටුවා ගත්තේය.

ඔහු එහි  මහ ලේකම් ලෙස කටයුතු කරමින් 2005 සහ 2010 වසරවල පැවති ජනාධිපතිවරණ වලදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ජනාධිපති අපේක්ෂකයකු ලෙසද ඉදිරිපත්විය.

රුහුණු ජනතා පක්‍ෂය, පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා එම පක්ෂයෙන් ඉදිරිපත් කිරීමේ අරමුනින් යුතුව එහි නම 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය' ලෙස සංශෝධනය කළේය.

එහිදී එම පක්ෂයේ නායකයා ලෙස රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතා නම් කරනු ලැබිය.