තෙල් වැඩි කරන්න ලේකම්ගෙන් සූත්‍රයක් - දිනක පාඩුව හෙළිකරයි ! - Neth News Blog

Apr 16, 2018

තෙල් වැඩි කරන්න ලේකම්ගෙන් සූත්‍රයක් - දිනක පාඩුව හෙළිකරයි !

ඉන්ධන මිල ඉහළ නොදැමීම නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිනකට රුපියල් මිලියන 38 ක පාඩුවක් ලබන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ‍ලේකම් උපාලි මාරසිංහ මහතා පවසයි.
මේ වන විටත් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 14 ත්, 16 ත් අතර ප්‍රමාණයක්, ඩීසල් ලීටරයකින් රුපියල් 6 ත් 9 ත් අතර ප්‍රමාණයක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 48 ක ප්‍රමාණයක පාඩුවක් සිදුවන බවත් ඔහු කියා සිටී.

අයි.ඕ.සී. සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමඟ
වෙළෙඳ ‍පොළේ සියයට 80 ක් පාලනය කිරීමට සිදුව ඇති බැවින් මෙලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුව තවදුරටත් වැඩිවී ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.

ඉන්ධන සඳහා වන වර්තමාන මිල තීරණය කෙරුණේ ලෝක වෙළෙඳ ‍පොළේ බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 40 ක්ව පැවැති අවස්ථාවේදී බවද ‍ලේකම්වරයා හෙළිකර තිබේ.

වර්තමානයේ බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 70 කට ආසන්න වී ඇති බැවින් සංස්ථාවට විශාල පාඩුවක් දැරීමට සිදුව ඇති බවත් ඔහු පැවසීය. (බොරතෙල් බැරලයක්‌ යනු ලීටර් 159 කි.)

මේ වන විටත් මුදල් අමාත්‍යංශය හා ලංකා ඛනිජ තෙල් සංස්ථාව අතර මිල සූත්‍රයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බවත් ඒ මහතා කීය.

ඉන්ධන මිල පාලනය

මේ අතර ලෝක ඉන්ධන මිලට සාපේක්‌ෂව මෙරට ඉන්ධන මිල ඉහළ පහළ දමන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජය වෙත ලබාදුන් උපදෙස්‌ අනුව ලබන මැයි 01 වැනිදා සිට ඉන්ධන මිල සූත්‍රයක්‌ ක්‍රියාත්මක කරන්නට ද රජය කටයුතු කරගෙන යන බව වාර්තා වේ.

 දැනටමත් ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල වැඩිකර ඇති අතර එම සමාගම පවසන්නේ ලෝක ඉන්ධන මිල හා රජයේ බදු නිසා ඉන්ධන මිල වැඩි කළ බවයි.

ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් පහකින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් නවයකින් ඉහළ දමනු ලැබීය. (මෙය අදාළ වන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් සදහා පමණි)

මාර්තුවේ දුන් සහනේ කෝ..

කෙසේවුවද, ඉකුත් මාර්තු මාසයේදී ජනතාවට ඉන්ධන සහනය දිගටම ලබාදීමට ඉන්ධන වෙනුවෙන් අයකරන බද්ද පහත දමා තිබිණි.

ඒ අනුව පෙට්‍රරල් ලීටරයක් සඳහා අයකරන ලද රුපියල් 35 ක තීරු බද්ද රුපියල් 12 දක්වා ද ඩීසල් ලීටරයක් සඳහා අය කළ රුපියල් 15 ක් වු තීරු බද්ද රුපියල් 4 දක්වා ද අඩු කළ බව මහා භාණ්ඩාගාරය සඳහන් කර තිබිණි.

ඉකුත් 2015 වසර වන විට ඇමෙරිකානු ඩොලර් 49.49 ක්ව තිබු බොර තෙල් බැරලයක මිල 2017 වසර අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් 54.95 දක්වා වැඩි වු අතර මේ වසරේ මාර්තු මාසය වන විට බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 63.07 දක්වා වැඩි වී තිබිණි.